බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අද (27) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර, ඉන් තුවාල ලැබූ සිසුන් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කරන පරිදි, මෙලෙස රෝහල්ගත කර ඇත්තේ එම විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසකි.
අද උදෑසන කාලයේදී මෙම දරුවන් පාසල් භූමියේ ක්‍රීඩා කරමින් සිටියදී, හදිසියේ පාසල් වත්තට කඩා වැදුණු බඹර රංචුවක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. සිද්ධියත් සමඟ කලබලයට පත් සිසුන් සහ ගුරුවරුන් වහාම ක්‍රියාත්මක වී තුවාල ලැබූ දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන නමුත් පවතින අසාත්මිකතා තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. පාසල් පරිශ්‍රයේ මෙවැනි බඹර කූඩු පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.















