නේපාලයේ පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ රාෂ්ට්‍රීය ස්වතන්ත්‍ර පක්ෂයේ (Rastriya Swatantra Party) නායක බැලේන්ද්‍ර ෂා අද (2026 මාර්තු 27) එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. 35 හැවිරිදි වියේ පසුවන ඔහු “බැලේන්” (Balen) යන නාමයෙන් ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධව සිටින අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී එරට පැවැති තාරුණ්‍යයේ අරගලයෙන් පසු නේපාල දේශපාලනයේ මතු වූ ප්‍රබලතම චරිතය ඔහුයි.
මාර්තු 05 වැනිදා පැවැති මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 275න් තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමට බැලේන්ද්‍ර ෂාගේ පක්ෂය සමත් විය. අද දහවල් 12:34ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් (Ram Chandra Paudel) ඉදිරියේ ඔහු සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. නේපාලයේ රාම් නවමි උත්සවය යෙදී ඇති අද දිනයේ, ජ්‍යොතිෂමය සහ සංඛ්‍යා ශාස්ත්‍රීය වටිනාකම් (12:34 සහ 14:15 රටා) සලකා බලමින් මෙම දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
වෘත්තියෙන් ව්‍යුහ විද්‍යා ඉංජිනේරුවෙකු (Structural Engineer) වන බැලේන්ද්‍ර ෂා මුලින්ම ප්‍රසිද්ධියට පත් වූයේ රැප් ගායකයෙකු (Rap artist) ලෙසයි. පසුව කත්මණ්ඩු නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, දූෂණයෙන් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පීඩා විඳි නේපාල ජනතාවගේ බලාපොරොත්තුව බවට පත් විය. නව රජයේ ප්‍රධානතම අභියෝගය වනුයේ රටේ පවතින දූෂණය පිටුදැකීම සහ ආර්ථිකය ස්ථාවර කිරීමයි.














