රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තැපැල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (27) පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සහ ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර ඉදිරිපිටදී මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින තැපැල් සේවකයා කළුතර, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා කළුතර නාගොඩ සහ වඩුගොඩ පාර පදිංචි අවුරුදු 30 ත් 34 ත් අතර වයස්වල පසුවන්නන්ය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන සැකකරුවන් කවුරුන්ද යන්න සහ තැපැල් සේවය අවභාවිත කරමින් මීට පෙරද මෙවැනි ජාවාරම් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විශේෂ කාර්ය බලකාය සහ කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය ගෙන යන දැඩි වැඩපිළිවෙළ යටතේ මෙවැනි වැටලීම් දිවයින පුරා තවදුරටත් දැඩි කර ඇත.














