ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ යුරෝපීය මිත්‍ර රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේද උග්‍ර වෙමින් පවතින පසුබිමක, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රංශයේ පැවැත්වෙන G7 විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා සඳහා අද එක්වීමට නියමිතය. ජර්මනිය, ෆින්ලන්තය සහ ස්පාඤ්ඤය වැනි යුරෝපීය රටවල් මෙම ඉරාන යුද්ධය “යුරෝපයේ යුද්ධයක් නොවන” බව පවසමින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල මෙහෙයුම්වලට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එයට පිළිතුරු දෙමින් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ යුක්රේන යුද්ධය ද ඇමෙරිකාවේ යුද්ධයක් නොවන නමුත් ලොව ඕනෑම රටකට වඩා වැඩි සහායක් ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති බවයි. යුරෝපයේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණවලට බලපානු ඇති බවට ඔහු අනතුරු ඇඟවූ අතර, යුක්රේනය සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු යුද ආධාර මැදපෙරදිග කලාපයට යොමු කිරීමේ හැකියාවක් පවතින බවට පළවන වාර්තා හේතුවෙන් යුරෝපීය නායකයන් දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
මේ අතර ලෙබනන සංස්කෘතික අමාත්‍ය ඝසන් සලාමේ පවසන්නේ ඉශ්‍රායලය එරට දකුණු ප්‍රදේශයේ සිදු කරන මෙහෙයුම් දැන් ආක්‍රමණයක් බවට පත්ව ඇති බවයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අද සෞදි අරාබියේ සංචාරයක නිරත වෙමින් ගුවන් ආරක්ෂක පද්ධති සම්බන්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත අතර, ඇමෙරිකාවේ බලපෑම මත දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාට එළඹෙන G7 නායක සමුළුව සඳහා ලබා දී තිබූ ආරාධනය ප්‍රංශය විසින් අවලංගු කර ඇති බව ද වාර්තා වේ. රුසියානු තෙල් සඳහා පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම හරහා ක්‍රෙම්ලිනය වාසි ලබා ගනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් අනතුරු අඟවන අතර, මැදපෙරදිග අර්බුදය හමුවේ ගෝලීය දේශපාලන බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතී.














