ලොව ප්‍රමුඛතම ස්වර්ණාභරණ අලෙවි ජාලයක් වන මලබාර් ගෝල්ඩ් ඇන්ඩ් ඩයමන්ඩ්ස් (Malabar Gold & Diamonds) සමාගම, 2026-27 මූල්‍ය වර්ෂය සඳහා සිය ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි 200ක ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර තිබේ. නවදිල්ලියේ ආචාර්ය අම්බේඩ්කාර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී මෙම ප්‍රකාශය සිදු කළ අතර, ඒ සඳහා ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් (Piyush Goyal) ද සහභාගී විය.
මෙම අරමුදල්වලින් වැඩිම කොටසක් එනම් රුපියල් කෝටි 114ක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර ඇති අතර, එහිදී ක්ෂුද්‍ර ඉගෙනුම් මධ්‍යස්ථාන සහ ශිෂ්‍යත්ව වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මෙහි සමාරම්භක පියවරක් ලෙස දිවයින පුරා විසිරී සිටින දැරියන් 33,000ක් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව බෙදා දීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.
ඉන්දියාවේ ප්‍රාන්ත 19ක ස්ථාන 3,000කට අධික සංඛ්‍යාවක මෙම සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා පුද්ගලයන් ලක්ෂ 2කට අධික පිරිසකට සෙත සැලසීමට සමාගම අපේක්ෂා කරයි. කාන්තාවන් සහ දැරියන් සවිබල ගැන්වීම රටේ ප්‍රගතියට අත්‍යවශ්‍ය බවත්, මලබාර් සමාගමේ මෙම පියවර අනෙකුත් ආයතනවලට ද කදිම ආදර්ශයක් බවත් අමාත්‍ය ගෝයල් එහිදී අවධාරණය කළේය.














