මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද වාතාවරණය හේතුවෙන් ලොව ප්‍රකෝටිපතියන් සහ මූල්‍ය කළමනාකරණ ආයතන සිය ආයෝජන සුරක්ෂිත කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවට යළිත් හොංකොං රාජ්‍යය තෝරා ගනිමින් සිටින බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි. පසුගිය වසර කිහිපය තුළ දේශපාලන අර්බුද සහ කොවිඩ් සීමා නිසා හොංකොං වෙත තිබූ ආකර්ෂණය ගිලිහී ගියද, වර්තමාන ගෝලීය තත්ත්වය හමුවේ එය යළිත් හිස ඔසවමින් පවතී.
ලන්ඩන් නුවර පදනම් කරගත් GACS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අන්මෝල් ගෝයල් පවසන පරිදි, ඔවුන් ඩුබායිහි ව්‍යාපාර ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද යුද්ධය ආරම්භ වීමත් සමඟ එම තීරණය වෙනස් කර හොංකොං වෙත පැමිණ තිබේ. ඩුබායි සහ අබුඩාබි වැනි නගරවල පවතින අවදානම හමුවේ ආයෝජකයන් දැන් හොංකොං, සිංගප්පූරුව, සූරිච් සහ මුම්බායි වැනි නගර කෙරෙහි විශ්වාසය තබමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
හොංකොං පාලනාධිකාරිය විසින් හඳුන්වා දී ඇති අඩු බදු ප්‍රතිපත්ති සහ දියුණු මූල්‍ය වෙළඳපොළ හේතුවෙන් පසුගිය වසර අවසානය වන විට එරට අලුතින් ආරම්භ කළ පවුල් මූල්‍ය කාර්යාල (Family Offices) සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් ඇත. ඩුබායිහි පැවති සිය දේපළ විකුණා දමා හොංකොං වෙත සිය ධනය රැගෙන ඒමට චීන ජාතික ආයෝජකයන් ද වැඩි උනන්දුවක් දක්වන බව මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙයි.














