මිරිදිය මත්ස්‍ය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව ගෘහණියන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික ආහාර තාක්ෂණ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. නාගරික හා ග්‍රාමීය ප්‍රජාව තුළ මිරිදිය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම හරහා දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීමට විකල්ප මාර්ග හඳුන්වා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.
මෙහිදී වැව් මාළු කරිය, වැව් මාළු ඩෙවල් සහ දුම් කරවල ලුණු මිරිස වැනි විවිධ රසවත් පිසුම් ක්‍රම පිළිබඳව සූපවේදී තුසිත සුදර්ශන ප්‍රනාන්දු මහතා විසින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන් අතර, මිරිදිය මසුන් අලංකාර ලෙස පිළිගන්වන ආකාරය ද සජීවීව පෙන්වා දුන්නා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ තිලාපියා (Tilapia), කැට්ලා (Catla) සහ රෝහු (Rohu) වැනි මත්ස්‍ය වර්ග වගා කිරීම ඉතා ලාභදායී ව්‍යාපාරයක් බවයි. විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමටත්, පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් මෙම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නිෂ්පාදන ආර්ථිකයට දායක කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම දැනුම ගෘහණියන් හරහා සමාජගත කිරීමෙන් මිරිදිය මසුන් පිළිබඳව පවතින දුර්මත ඉවත්වී, පවුලේ සාමාජිකයන් තුළ ඒ පිළිබඳව කැමැත්තක් ඇති වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා. ගම්පහ දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාප්ති නිලධාරී සම්පත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහනට ප්‍රදේශයේ කාන්තා සමිති සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.














