ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) කොටසක් වසා දැමීම හේතුවෙන් එරට ගුවන්තොටුපොළවල ඇති වූ දැඩි තදබදය සහ පෝලිම් සැලකිල්ලට ගනිමින්, එම දෙපාර්තමේන්තුවට අරමුදල් වෙන් කිරීමේ පනතකට සෙනෙට් සභාව අද (මාර්තු 27) අලුයම සිය අනුමැතිය ලබා දුන්නේය. සති කිහිපයක් පුරා පැවති මෙම අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ආරක්ෂක පරිපාලනයේ (TSA) නිලධාරීන්ට වැටුප් ගෙවීම අඩාල වූ අතර, බොහෝ පිරිසක් සේවයට වාර්තා නොකිරීම නිසා ගුවන් ගමන් සඳහා පැය ගණනාවක ප්‍රමාදයන් වාර්තා විය.
මෙම පනත මගින් ආගමන විගමන සහ දේශසීමා ආරක්ෂක අංශ (Border Patrol and ICE) හැර අනෙකුත් බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන හිමි වේ. මින්නේපොලිස්හිදී සිදුවූ වෙඩි තැබීමකින් ඇමෙරිකානු පුරවැසියන් මියයෑමේ සිද්ධිය මුල් කරගනිමින් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් ආගමන විගමන අංශවලට ප්‍රතිපාදන ලබාදීම වළක්වා තිබුණි. කෙසේ වෙතත්, වසන්ත නිවාඩු කාලසීමාව තුළ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ අඩපණ වීම නිසා රිපබ්ලිකන් පාක්ෂිකයන් ද මෙම අර්ධ අරමුදල් පනතට අවසානයේ එකඟතාව පළ කර ඇත.
මෙම පනත දැන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන සඳහා යොමු කර තිබේ. මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය හමුවේ ඇමෙරිකානු ආර්ථිකයට මෙවැනි අභ්‍යන්තර බිඳවැටීම් දැඩි තර්ජනයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














