මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ සන්නිවේදන ජාල බිඳවැටීම් හේතුවෙන් එතෙර සිටින තම සමීපතමයන් පිළිබඳ තොරතුරු ලබාගත නොහැකිව අසරණ වී සිටින මෙරට ඥාතීන්ට සහනයක් සැලසීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පියවර ගෙන තිබේ. ඉරානය ඇතුළු ගැටුම් පවතින රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු සොයා දීම සඳහා රතු කුරුස සමාජය සිය ජාත්‍යන්තර ජාලය උපයෝගී කර ගනිමින් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. යුද්ධය හේතුවෙන් පවුල් සබඳතා ඇනහිට ඇති පුද්ගලයන්ට සිය ආදරණීයයන් පිළිබඳ තහවුරු කළ තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ “පවුල් සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ” (Restoring Family Links – RLF) ඒකකය මගින් මෙහෙයවනු ලබන මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ සහ රහසිගතව සිදු කරනු ලබයි. ඒ අනුව, මැදපෙරදිග සිටින තම ඥාතීන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති පවුල්වල සාමාජිකයන්ට +94 70 378 8614 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රතු කුරුස සමාජය හා සම්බන්ධ වී සහාය ලබාගත හැකිය. පවතින හදිසි තත්ත්වය හමුවේ සන්නිවේදනය අහිමි වූවන් වෙනුවෙන් මෙය මානුෂීය මැදිහත්වීමක් ලෙස සැලකේ.
මෙම සේවාව ලබා ගැනීමට අපේක්ෂා කරන ජනතාවට දිවයින පුරා විහිදී ඇති රතු කුරුස සමාජයේ ශාඛා 25 න් ඕනෑම ශාඛාවක් වෙත ගොස් සිය ඥාතීන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකිය. සියලුම ශාඛාවල ලිපිනයන් සහ දුරකථන අංක ඇතුළත් විස්තර www.redcross.lk යන නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම සංගමය නිවේදනය කරයි. යුද බිය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල සාමාජිකයන්ට මෙමගින් සිය ඥාතීන්ගේ සුවදුක් දැනගැනීමට මෙන්ම අවැසි සහාය ලබා ගැනීමට ද මග පෑදෙනු ඇත.
උපුටා ගැනීම: ශ්‍රී ලංකා රතු කුරුස සමාජය













