ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හෙට (මාර්තු 28) දිනට මාසයක් සපිරෙන පසුබිමක, එහි බලපෑම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ඉක්මවා ගොස් පාරිභෝගික භාණ්ඩ රැසක මිල ඉහළ යාමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවේ බීර (Beer) ඇතුළු මත්පැන් මිල ඉදිරියේදී ඉහළ යා හැකි බවට ඉන්දීය බීර නිෂ්පාදකයන්ගේ සංගමය (Brewers Association of India) අනතුරු අඟවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන සැපයුම් අඩාල වීම නිසා ඉන්දියාවට අවශ්‍ය ද්‍රවිකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයුම අඩපණ වී ඇත. බීර සහ අනෙකුත් මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය වන තාපය සහ බලශක්තිය සඳහා මෙන්ම ඇසුරුම්කරණ කටයුතුවලට ද මෙම වායුව අත්‍යවශ්‍ය වේ. ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 90%ක් ද, LPG අවශ්‍යතාවයෙන් බහුතරයක් ද කටාර් සහ සවුදි අරාබිය වැනි ගල්ෆ් කලාපයේ රටවලින් ආනයනය කරයි.
මෙම ගෑස් හිඟය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන් බීර මිල පමණක් නොව, ප්ලාස්ටික්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහළ ගොස් තිබේ. යුද කලාපයෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටියද, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම නිසා ඉන්දියාව වැනි ආසියානු රටවල පාරිභෝගිකයන්ට මෙහි සෘජු බලපෑම එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකාව වැනි රටවලට ද මෙවැනිම බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














