ඇමෙරිකානු රජය ඉරානය සමඟ යුද්ධයක නිරත වෙමින් සිටින පසුබිමක, ජාතික ආරක්ෂාව හේතුවක් ලෙස දක්වමින් මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) කලාපයේ තෙල් සහ ගෑස් කැණීම් ව්‍යාපෘති සඳහා ‘වඳවීමේ තර්ජනයට ලක් වූ ජීවීන්ගේ පනතින්’ (Endangered Species Act) නිදහස් කිරීමක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉල්ලා තිබේ. මින් පෙර මෙවැනි නිදහස් කිරීම් ලබා දී ඇත්තේ සෘජු හමුදාමය අවශ්‍යතා සඳහා පමණක් වුවද, බලශක්ති ව්‍යාපෘති සඳහා මෙය භාවිත කිරීම භයානක පූර්වාදර්ශයක් බව පරිසරවේදීහු පවසති.
පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ රජය විසින් නියමිත නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කර නොමැති බවයි. ‘Earthjustice’ වැනි සංවිධාන පවසන පරිදි, මෙම පියවර මගින් මුහුදු කැස්බෑවන්, කොරල්පර සහ තල්මසුන් වැනි සතුන් වඳවී යාමේ තර්ජනයකට ලක් වනු ඇත. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ මේ වන විට 50කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව සිටින ‘රයිස්’ (Rice’s whale) වර්ගයේ තල්මසුන්ගේ පැවැත්ම මෙයින් බරපතල අවදානමකට ලක් වන බව ඔවුහු අනතුරු අඟවති.
මෙම නිදහස් කිරීම් පිළිබඳව තීරණය කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් (Doug Burgum) විසින් ලබන මාර්තු 31 වැනිදා ‘වඳවීමේ තර්ජනයට ලක් වූ ජීවීන්ගේ කමිටුව’ කැඳවීමට නියමිතය. උසස් ෆෙඩරල් නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුවට ඕනෑම සත්ත්ව විශේෂයක ඉරණම තීරණය කිරීමේ බලය පවතින බැවින් පරිසරවේදීන් විසින් එය ‘ගොඩ් ස්කොඩ්’ (දෙවියන්ගේ කණ්ඩායම) ලෙස හඳුන්වනු ලැබේ. තෙල් සමාගම්වල ලාභය වෙනුවෙන් ජාතික ආරක්ෂාව අවභාවිත කරමින් පරිසරය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස පරිසරවේදීහු රජයෙන් ඉල්ලා සිටිති.














