රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද (27) දහවල් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද මෙම දුම්වැටි තොගය, ගුවන් තොටුපොළේ ගමන් මලු පථය (Baggage belt) අසල අතහැර දමා තිබූ ගමන් මලු 13ක් පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකි වී ඇත.
රේගු නිලධාරීන් විසින් මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, ඒවා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පිහිටි රේගු ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගමන් මලු මෙරටට රැගෙන ආ පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු බලධාරීහු සඳහන් කරති.
නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි ගෙන්වීම වැළැක්වීම සඳහා රේගු දෙපාර්තමේන්තුව උත්සව සමය නිමිත්තෙන් සිය මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම වැටලීම සිදු කර ඇත.














