ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිනිරන් කර්මාන්තය නව මානයකට ඔසවා තබමින්, “ග්‍රැෆීන්” (Graphene) නිෂ්පාදනය හරහා මෙරට ආර්ථිකයේ දැවැන්ත පෙරළියක් සිදු කළ හැකි බව ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. අද (27) කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවති ජාත්‍යන්තර මිනිරන් සමුළුවේදී ඔහු මේ බව අවධාරණය කළේය. “රාගෙදර” මිනිරන් පතල් කර්මාන්තශාලාව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දෙස් විදෙස් විද්‍යාඥයන් සහ ව්‍යවසායකයන් 200කට අධික පිරිසක් එක්ව සිටියහ.
මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ග්‍රැෆීන් නිෂ්පාදනය රාගෙදර පතල් කර්මාන්තශාලාව මගින් ආරම්භ කර ඇති අතර, දැනටමත් එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීම ඇරඹී තිබේ. ලෝක වෙළෙඳපොළේ ග්‍රැෆීන් ග්‍රෑම් එකක මිල රුපියල් 50,000ක් වැනි ඉහළ අගයක පවතින අතර, එය රන් මිල පවා අභිබවා යාම විශේෂත්වයකි. මෙමගින් මිනිරන් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරනවාට වඩා විශාල විදේශ විනිමයක් මෙරටට උපයා ගත හැකි බව ඉංජිනේරු වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.
ගුවන් යානා, අභ්‍යවකාශ තාක්ෂණය, විද්‍යුත් මෝටර් රථ බැටරි සහ උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර සඳහා ලෝකයේ දියුණු රටවල් ග්‍රැෆීන් බහුලව යොදා ගනී. නිෂ්පාදන පිරිවැය අවම කිරීමටත් ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් ග්‍රැෆීන් සතු සුවිශේෂී ශක්තිමත්භාවය සහ සන්නායකතාව ඉවහල් වේ. ශ්‍රී ලංකාවේ පවතින උසස් තත්ත්වයේ මිනිරන් නිධි උපයෝගී කරගනිමින් මෙම තාක්ෂණය දියුණු කිරීම හරහා මෙරට කාර්මික අපනයන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














