ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රීඩ්ලි නගරයේ පිහිටි පාළු ගබඩාවක් පරීක්ෂා කිරීමේදී චීනයට සම්බන්ධ රහසිගත සහ නීතිවිරෝධී ජීව විද්‍යාගාරයක් අනාවරණය කර ගැනීමට බලධාරීන් සමත්ව තිබේ. සාමාන්‍ය ගොඩනැගිලි පරීක්ෂාවකදී එතැනින් හැමූ අමුතු දුගඳක් හේතුවෙන් සිදුකළ විමර්ශනයකදී මෙය අනාවරණය වී ඇත. එහි තිබී කොවිඩ්-19, එච්.අයි.වී සහ ඉබෝලා වැනි භයානක රෝග කාරක සහිත කුප්පි සිය ගණනක් බලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම රහසිගත මධ්‍යස්ථානය තුළ අවම ආරක්ෂිත ප්‍රමිතීන් පවා නොමැතිව පර්යේෂණ සඳහා යොදාගත් රසායනාගාර මීයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සහ විවිධ ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය අතිශය අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. මෙම සිදුවීමත් සමඟ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන සෞඛ්‍යය පිළිබඳ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, මෙහි ප්‍රධාන සැකකරු ලෙස ජියා බෙයි ෂු නමැත්තෙකු හඳුනාගෙන තිබේ.
අදාළ සැකකරු මීට පෙර වංචනික කොවිඩ් පරීක්ෂණ ජාලයකට සම්බන්ධ වූවෙකු බව ද වාර්තා වේ. කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය මෙම රසායනාගාරය තුළ මෙතරම් භයානක වෛරස් පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව එරට ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














