ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) අතර කාර්මික ගුවන් සේවා නිෂ්පාදන කටයුතු ශක්තිමත් කිරීම සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙළක් පසුගියදා අවසන් කර තිබේ. මෙමඟින් “Make in India” සංකල්පය යටතේ යුරෝපා ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් යානා නිෂ්පාදනයට සහයෝගය ලැබෙනු ඇත. මෙහි ප්‍රධාන පියවරක් ලෙස කර්නාටක ප්‍රාන්තයේ Airbus H125 හෙලිකොප්ටර් එකලස් කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට නියමිතය.
පසුගිය ජනවාරි මාසයේ පැවැති ඉන්දියා-යුරෝපා සංගම් සමුළුවේදී සිවිල් ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳව ඇති කරගත් එකඟතාවන්ට අනුව මෙම පියවර ගෙන තිබේ. ඉන්දියාවේ ටාටා ඇඩ්වාන්ස්ඩ් සිස්ටම්ස් (Tata Advanced Systems) සහ එයාර් බස් (Airbus) සමාගම එක්ව කර්නාටකයේ වේමගල් හි දැනටමත් හෙලිකොප්ටර් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, එහි මූලික කටයුතු පෙබරවාරි මාසයේදී ආරම්භ විය.
මෙම මධ්‍යස්ථානය හරහා නිෂ්පාදනය කෙරෙන හෙලිකොප්ටර් ලෝක වෙළඳපොළට අපනයනය කිරීමට ද අපේක්ෂිත අතර, එහි පළමු නිෂ්පාදන 2027 වසරේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇත. යුරෝපා සංගමයේ තානාපති හර්වේ ඩෙල්ෆින් ප්‍රකාශ කළේ මෙම සහයෝගීතාවය දෙපාර්ශ්වය අතර පවතින කාර්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර ගෝලීය ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් යානා නිෂ්පාදන ලොවට දායාද කිරීමට මග පාදන බවයි.
















