දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාව සිය සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි. මෙම උණුසුම් තත්ත්වය විශේෂයෙන්ම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
ශරීරය අධික ලෙස උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා සිරුරේ ජලය ඉවත්ව යාමෙන් විජලනය, උෂ්ණතා ආබාධ සහ උෂ්ණ ආඝාත (Heat Stroke) වැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකිය. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රධාන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කර ඇත.
පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා වූ කාලය තුළ හැකිතාක් හිරු එළියට කෙලින්ම නිරාවරණය නොවී සිටීමට වගබලා ගත යුතුය. බාහිර පරිසරයේ රැකියාවල නිරත වන හෝ ගමන් බිමන් යන පුද්ගලයන් සිටී නම්, හිස්වැසුම් සහ අව් කණ්නාඩි භාවිත කිරීම මෙන්ම සිරුර ආවරණය වන පරිදි සැහැල්ලු ඇඳුම් ඇඳීම ඉතා වැදගත් වේ.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ අනවශ්‍ය ලෙස හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම මගින් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් අවම කරගත හැකි බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














