ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ඉරාන විදේශ අමාත්‍ය සෙයියඩ් අබ්බාස් අරග්චි (Seyyed Abbas Araghchi) අද (27) ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම දැරියන් 160කට අධික පිරිසකට ජීවිත අහිමි වූ ‘මිනාබ්’ (Minab) ප්‍රාථමික පාසලට එල්ල වූ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස හඳුන්වා දුන් ඔහු, මෙම අසාධාරණයට එරෙහිව ලෝකය එක්විය යුතු බව අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ඔහු කියා සිටියේ ඉරානය කිසිවිටෙකත් යුද්ධයක් අපේක්ෂා නොකරන නමුත්, තම රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කාලයක් සටන් කිරීමට සූදානම් බවයි.
පසුගිය දින 27ක කාලය තුළ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් පාසල් 600කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, ගුරුවරුන් සහ සිසුන් 1000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවත් අමාත්‍යවරයා හෙළි කළේය. රතු අඩසඳ සහන සේවකයන්, රෝහල්, ගිලන්රථ සහ පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර හුදු යුද අපරාධවලින් ඔබ්බට ගිය ‘ජනසංහාරක’ (Genocide) ස්වභාවයක් ගන්නා බව ඔහු පෙන්වා දුන්නේය. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමක් පිළිබඳව ඉඟි පළ කළ ද, තවදුරටත් ඉරානයේ බලශක්ති සහ සිවිල් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ ප්‍රහාර එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














