ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) නවීකරණය කරමින් රෝගීන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය අවම කිරීම සඳහා හඳුන්වා දුන් නව ඩිජිටල්කරණ වැඩපිළිවෙල අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක් විය. පසුගිය 25 වැනිදා මෙරට රෝහලක ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම “ස්මාර්ට් ටෝකන්” ක්‍රමය හරහා සායනික රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී පවතින දැඩි තදබදය පාලනය කිරීමට අපේක්ෂිතය. මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී වඩාත් දියුණු QR කේත ක්‍රමවේදයක් දක්වා ව්‍යාප්ත කරන බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමය යටතේ රෝගියා සායනයෙන් ලබාගන්නා ඖෂධ වට්ටෝරුව ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කළ පසු එය පද්ධතියේ ලියාපදිංචි කර ස්මාර්ට් ටෝකන් අංකයක් නිකුත් කරනු ලැබේ. අදාළ අංකය ප්‍රදර්ශනය වූ පසු රෝගියාට සිය ඖෂධ ලබා ගත හැකි අතර, මෙහිදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පූජ්‍ය පක්ෂය මෙන්ම වැඩිහිටි සහ විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවක් ලබා දීමට ද පියවර ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම රෝගීන්ගේ ද පහසුව උදෙසා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල තවදුරටත් ක්‍රමවත් කිරීමට අවශ්‍ය උපදෙස් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ට ලබා දෙන ලදී.














