වෙළෙඳපොළේ අලෙවි වන සම පැහැපත් කරන ආලේපන (Whitening Creams) ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය එසැණින් පරීක්ෂා කළ හැකි රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (27) පරිත්‍යාග කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ සිදුකළ මෙම පරිත්‍යාගය සංකේතාත්මකව භාරදීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
මෙම නවීන යන්ත්‍ර භාවිතයෙන් රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය මට්ටම විනාඩි 05-10ක් වැනි ඉතා කෙටි කාලයකදී පරීක්ෂා කළ හැකි අතර, එහි විශේෂත්වය වන්නේ පරීක්ෂණය සඳහා සාම්පල කලින් රසායනිකව සැකසීමට අවශ්‍ය නොවීමයි. මේ හරහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම සෘජුවම පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ලැබෙන අතර, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ද මේ වන විටත් නිලධාරීන්ට ලබා දී ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට (SLSI) අනුව රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් එකක් (1mg/kg) වුවද, වෙළෙඳපොළේ ඇති ඇතැම් නිෂ්පාදන එම සීමාව බරපතල ලෙස ඉක්මවා ඇති බව මීට පෙර කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අධික රසදිය අඩංගු ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් පාරිභෝගිකයන්ට සිදුවන බරපතල සෞඛ්‍ය අවදානම වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව වෙළෙඳ අමාත්‍යාංශය අවධාරණය කරයි.














