දැඩි මෙහෙයුම් පීඩනය සහ සෙබළුන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) අභ්‍යන්තරයෙන්ම බිඳවැටීමේ බරපතල අවදානමකට මුහුණ දී සිටින බව එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයිල් සාමිර් (Eyal Zamir) මහතා පවසයි. ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී අමාත්‍යවරුන් අමතමින් ඔහු අවධාරණය කර ඇත්තේ හමුදාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තමා “රතු කොඩි 10ක්” ඔසවන බවයි. හමුදා ශක්තිය පවත්වා ගැනීම සඳහා නව බඳවා ගැනීමේ නීති සහ අනිවාර්ය සේවා කාලය දීර්ඝ කිරීමේ පනත් වහාම සම්මත කරගත යුතු බව පෙන්වා දෙන ඔහු, පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී දෛනික මෙහෙයුම් සඳහා සූදානම් වීමට පවා හමුදාවට නොහැකි වනු ඇති බවට අනතුරු අඟවයි.
2023 ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ගාසා යුද්ධය සහ අනෙකුත් පෙරමුණුවල මෙහෙයුම් හේතුවෙන් ඊශ්‍රායල හමුදාවට මේ වන විට සෙබළුන් 12,000ක පමණ හිඟයක් පවතින බව නිල වාර්තා පෙන්වා දෙයි. මෙම අර්බුදය තීව්‍ර වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ අතිශය ගතානුගතික යුදෙව් (Haredi) ප්‍රජාව හමුදා සේවයෙන් නිදහස් කිරීමට පවතින දේශපාලන උත්සාහයයි. වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන එවැනි තරුණයන් 80,000ක් පමණ හමුදා සේවයට සුදුසුකම් ලබා සිටියද, ඔවුන් මෙතෙක් සේවයට එක්ව නොමැති අතර මහාධිකරණය ද මීට පෙර තීන්දු කළේ ඔවුන්ට ලබා දී ඇති නිදහසට නීතිමය පදනමක් නොමැති බවයි. මෙම මානව සම්පත් අර්බුදය විසඳීමට රජය කඩිනම් පියවර නොගතහොත් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව හමුදා ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














