ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, ලෝකයේ ආහාර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින රටවල් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව කීල් ලෝක ආර්ථික ආයතනය (Kiel Institute) සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වේ. මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනය අඩාල වීම දැනටමත් ගෝලීය බලශක්ති මිල ඉහළ නැංවීමට හේතු වී ඇති අතර, එය ශ්‍රී ලංකාවට සෘජුවම බලපායි. කෙසේ වෙතත්, මෙම බලපෑම ඉන්ධනවලට පමණක් සීමා නොවන බවත්, ගෝලීය සැපයුම් දාමයන් සඳහා අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රැසක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මාර්ගය මෙය වීම මෙම අවදානමට ප්‍රධාන හේතුව බව එම වාර්තාව පෙන්වා දෙයි.
බීබීසී වෙරිෆයි (BBC Verify) දත්තවලට අනුව, දිනකට නෞකා 100කට අධික සංඛ්‍යාවක් ගමන් කළ මෙම මුහුදු සීමාව හරහා දැනට ගමන් කරන්නේ නෞකා කිහිපයක් පමණක් වන අතර, එය බරපතල සැපයුම් හිඟයකට මඟ පාදා ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමුවහොත් ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් 15%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව පර්යේෂකයන් අනාවරණය කරයි. මෙහිදී ලෝකයේ වැඩිම බලපෑමක් එල්ල වන රට ලෙස සිම්බාබ්වේ හඳුනාගෙන ඇති අතර එහි මිල වැඩිවීම 30% ඉක්මවනු ඇත. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ නිෂ්පාදනය කෙරෙන පෙට්‍රෝ රසායනික පොහොර වර්ග මෙම මාර්ගය හරහා ප්‍රවාහනය කිරීම අඩාල වීම, ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රටවල ආහාර නිෂ්පාදනයට සහ මිල පාලනයට එල්ල වන මාරාන්තික පහරක් වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරේ.














