නුවරඑළිය ප්‍රසිද්ධ ‘ලවර්ස් ලීප්’ (Lovers Leap) දිය ඇල්ල නැරඹීමට ගිය 52 හැවිරිදි විදේශීය සංචාරකයෙකු, එහි ඉහළ කොටසේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා තිබේ. අද (27) පෙරවරු 11:30 ට පමණ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
සිය බිරිඳ සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි මෙම සංචාරකයා, දිය ඇල්ලේ ඉහළ පිහිටි අවදානම් සහිත ගලක් මත සිට ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා පහළට ඇද වැටී ඇත. අනතුර පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් පසු, නුවරඑළිය පොලිස් නිලධාරීන් සහ මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව දැඩි වෙහෙසක් දරා තුවාලකරු බේරාගෙන තිබේ.
අනතුරින් විදේශිකයාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. සංචාරක ස්ථානවලදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් නැවතත් ජනතාවගෙන් සහ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.














