ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) වත්මන් අධ්‍යක්ෂ කාෂ් පටෙල් (Kash Patel) මහතාගේ පෞද්ගලික ඊමේල් ගිණුමට ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘හන්දලා හැක් ටීම්’ (Handala Hack Team) නමැති හැකර් කණ්ඩායම සිය වෙබ් අඩවිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ඡායාරූප සහ ජීව දත්ත තොරතුරු ද අන්තර්ජාලයට මුදා හැර තිබේ. සාර්ථකව හැක් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවට පටෙල් මහතාගේ නම ද ඇතුළත් කළ බව එම කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කර ඇත.
අන්තර්ජාලයට මුදා හැර ඇති දත්ත සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවා 2010 සහ 2019 වසර අතර කාලයට අයත් පෞද්ගලික සහ වෘත්තීය ලිපි හුවමාරුවල මිශ්‍රණයක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමෙරිකානු යුක්ති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කාෂ් පටෙල් මහතාගේ ඊමේල් ගිණුම අවභාවිත වී ඇති බව තහවුරු කර ඇති නමුත්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම FBI ආයතනය මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින දැඩි රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් මධ්‍යයේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.














