පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් අද (27) ප්‍රතික්ෂේප කරනු ලැබීය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූර්ය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයේදී කථානායකවරයා නියෝජනය නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි. සාමාන්‍යයෙන් රජයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, මෙලෙස කථානායකවරයෙකු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
නීතිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීතියට පටහැනිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කළ බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. මීට පෙර අවස්ථාවක මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණද, අද දින කථානායකවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෙකු පෙනී සිටීම විශේෂත්වයකි. ඒ අනුව පෙත්සම සම්බන්ධ සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ අධිකරණය, කරුණු තහවුරු කිරීම සඳහා ඉදිරි දිනයක් ලබා දීමට කටයුතු කළේය.














