ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ඉන්ධන පිරවුම්හල් සිය ගණනක ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය අද (28) වාර්තා කරයි. විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් (New South Wales) සහ වික්ටෝරියා (Victoria) යන ප්‍රාන්තවල මෙම තත්ත්වය වඩාත් දරුණු ලෙස බලපා තිබේ. වාර්තාවලට අනුව මේ වන විට ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික සංඛ්‍යාවක ඉන්ධන තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ බියෙන් ජනතාව කලබල වී (Panic Buying) අධික ලෙස ඉන්ධන රැස්කිරීමට පෙළඹීමයි.
සංඛ්‍යාලේඛනවලට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් 289කට අධික ප්‍රමාණයක සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් 162කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇත. මෙම අසමතුලිතතාවය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ජාලයට දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා බලධාරීන් කඩිනම් පියවර ගනිමින් සිටියි. ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙස ද ඕස්ට්‍රේලියානු රජය සහ තෙල් සමාගම් දැඩිව ඉල්ලා සිටියි.














