මෙරට පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය ප්‍රමාණය ක්ෂණිකව පරීක්ෂා කළ හැකි නවීන ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර (Mobile Mercury Analyzers) දෙකක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඊයේ (27) පරිත්‍යාග කරන ලදී. රුපියල් ලක්ෂ 180ක් වටිනා මෙම උපකරණ යුගළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ලබා දී ඇති අතර, ඒවා නිල වශයෙන් භාරදීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු විය.
වෙළෙඳපොළේ අලෙවි වන විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය විනාඩි 5ත් 10ත් වැනි ඉතා කෙටි කාලයක් තුළ විශ්ලේෂණය කිරීමට මෙම යන්ත්‍රවලට හැකියාව පවතී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව රූපලාවණ්‍ය නිෂ්පාදන කිලෝග්‍රෑමයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකක් වුවද, ඇතැම් නිෂ්පාදනවල එම අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මීට පෙර සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මෙම නව ජංගම තාක්ෂණය භාවිතයෙන් නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම සෘජුවම පරීක්ෂණ පැවැත්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අපේක්ෂා කරයි.
අධික ලෙස රසදිය අඩංගු ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් පාරිභෝගිකයන්ට සිදුවන දරුණු සෞඛ්‍ය අවදානම වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අමතර රසායනික ද්‍රව්‍ය හෝ වායු වර්ග අවශ්‍ය නොවන බැවින් පරීක්ෂණ සඳහා වැයවන පිරිවැය ද අවම වේ. මේ වන විටත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර, ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂ වැටලීම් සහ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.














