මහියංගනය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් අඹුසැමි යුවළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි, ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ට්‍රැක්ටරයේ ගමන් කළ සහ කැබ් රථයේ පසුපස ගමන් කළ පුද්ගලයන් ඇතුළු 09 දෙනෙකු බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි සහ 44 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළකි. අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ට්‍රැක්ටර් රථයට සහ කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර, කැබ් රථ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය මෙම මාරක අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර තුවාල ලැබූ සෙසු පිරිස තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
















