විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ජාතික ජන බලවේගය (NPP) සතු වූ මූලික සැලසුම් අත්හැර දැමීමට රජය තීරණය කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ. ඒ අනුව පවතින ව්‍යවස්ථාව යටතේම මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමටත්, ඒ සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම යළි ඉදිරිපත් කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර පොදු එකඟතාවක් ඇති වී තිබේ. ඉදිරි කාලය තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඇති ප්‍රායෝගික අපහසුතාව සහ විපක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල නොවීම මෙම තීරණයට හේතු වී ඇති බව එම පක්ෂ විධායක සභිකයෙකු ප්‍රකාශ කර ඇත.
මෙම නව තීරණය 2024 ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට සෘජුවම පටහැනි වන්නකි. එම ප්‍රකාශනයේ 194 සහ 230 වැනි පිටුවල පැහැදිලිව සඳහන් කර තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට වගකියන විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා බවයි. කෙසේ වෙතත්, වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා කෙරෙහි පවතින ජනප්‍රියත්වය සැලකිල්ලට ගනිමින්, විධායක බලතල තවදුරටත් රඳවාගෙන එමඟින් රට පාලනය කිරීම වඩාත් යෝග්‍ය බව රජයේ පාර්ශවයන්ගේ වත්මන් මතය වී තිබේ.














