ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කරමින් පාරිභෝගිකයන් මුළා කර මුදල් ලබාගැනීමේ සංවිධානාත්මක ‘ෆිෂිං’ (Phishing) වංචාවක් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වංචාව ක්‍රියාත්මක වන්නේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ (SMS) යොමු කිරීම මඟිනි. අදාළ පණිවුඩය මඟින් පාරිභෝගිකයා වෙත ලැබීමට නියමිත පාර්සලයක් ලබා ගැනීම සඳහා කිසියම් ගාස්තුවක් ගෙවිය යුතු බව දන්වන අතර, ඒ සඳහා ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිසීමට සබැඳියක් (Link) ද ලබා දෙනු ලැබේ. එම සබැඳිය හරහා ගොස් තම බැංකු කාඩ්පත් දත්ත ඇතුළත් කරන පුද්ගලයන්ගේ ගිණුම්වල ඇති මුදල් සොරා ගැනීම මෙහිදී සිදුවේ.
මෙම වංචාව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර, මෑත කාලීනව මෙවැනි සිදුවීම්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති අතර පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇත. තමන් වෙත ලැබෙන සැකකටයුතු කෙටි පණිවුඩවල ඇති සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, කිසිදු හේතුවක් මත තම බැංකු කාඩ්පත් අංක, රහස් අංක හෝ ජංගම දුරකථනයට ලැබෙන OTP කේතයන් නන්නාදුනන පාර්ශව සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.














