කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයේ සිසුන් පිරිසක් විසින් නීති පීඨයේ සිසුන්ට සිදු කරන ලද දරුණු පහරදීමක් හේතුවෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා අද (28 වැනිදා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ගත කළ සිසුන් මේ වන විට ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. මෙම පහරදීම අද අලුයම 2:00ට පමණ පුංචි බොරැල්ලේ පිහිටි නීති පීඨයට අයත් ‘කිත්‍යාකර’ නේවාසිකාගාරය තුළ සහ ඉන් පිටතදී සිදුව ඇත.
නීති පීඨ ශිෂ්‍ය සංගමය පවසන පරිදි, වාණිජ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු 30ක පමණ පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී තිබේ. ඊයේ (27 වැනිදා) විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති ‘ආලන්දර’ සංගීත ප්‍රසංගය අතරතුරදී ද වාණිජ පීඨ සිසුන් ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ. එම අවස්ථාවේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් වී ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීමෙන් පසුව නීති පීඨ සිසුන් නේවාසිකාගාරය වෙත ගොස් ඇති නමුත්, එම සහතිකය නොතකා මෙම ම්ලේච්ඡ පහරදීම සිදුව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති පීඨ සිසුන් විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පහරදීමට පැමිණි සිසුන් පස් දෙනෙකුගේ නම් ද එම පැමිණිල්ලට ඇතුළත් කර තිබේ. පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කළේය. මේ අතර, සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම වෙනුවට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කරන බවට නීති පීඨ ශිෂ්‍ය සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි.
පවතින ඉරාන – ඇමරිකානු යුදමය වාතාවරණය සහ ඉන්ධන අර්බුදය හමුවේ රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ, රටේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ප්‍රජාව අතර මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම දේශපාලන සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල දැඩි අවධානයට ලක්ව තිබේ. බොරැල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
– රුවන් විජයසුන්දර – නුගේගොඩ














