දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නවීන තාක්ෂණික අවස්ථාවන් සම සමව හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ, වර්තමාන වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක් විය යුතු බවයි. මෙවැනි තරගාවලි හරහා තරුණ පරපුරට තර්කානුකූල චින්තනය සහ නවෝත්පාදන කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙන බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
“Robots Meet Culture” (රොබෝ තාක්ෂණය සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් සිසුන් 500කට අධික පිරිසක් සහ කණ්ඩායම් 66ක් සහභාගී වී සිටි අතර, එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයකි. දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ඉදිරිපත් කර තිබූ මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, 2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීමෙන් ලැබූ අත්දැකීම් මෙරට තාක්ෂණික අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බවයි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට ද ඇය මෙහිදී සහතික විය.














