ප්‍රසංග වේදිකාවේ ‘කඩියා’ යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය වූ දශක ගණනාවක් ප්‍රේක්ෂකයන් සිනහ ගැන්වූ ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ මහතා ඊයේ (අප්‍රේල් 30) මාරවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 65 වැනි වියේ පසුවිය.
පාසල් අවදියේ ‘පෙරහැර’ වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි ඔහු, ‘සඳ’ චිත්‍රපටයේ ‘වඩුමඩුවේ කොල්ලා’ ලෙස රිදී තිරයට ප්‍රවිෂ්ට විය. ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීණයන් සමඟ රංගනයේ යෙදුණු ඔහු, ‘නොම්මර 17’ චිත්‍රපටයේ ‘බ්‍රින්ජෝල්’ ගේ චරිතයෙන් මෙන්ම ‘චණ්ඩි රජා’, ‘යුක්තියට වැඩ’, ‘නැව ගිලුණත් බෑන් චූන්’ සහ ‘නරලොව හොල්මන්’ වැනි චිත්‍රපට රැසකින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේය.
ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු, ‘කඩියා’ නමින් නිකුත් කළ කැසට් පටය හරහා ප්‍රසංග වේදිකාවේ ගායන ශිල්පියෙකු ලෙසද දස්කම් දැක්වීය. මීට අමතරව ‘පැන්ෂන් මහත්තයා’ සහ ‘සාරා’ වැනි වේදිකා නාට්‍ය සඳහාද ඔහු සිය දායකත්වය ලබා දී ඇත.
තිදරු පියෙකු වූ මහේෂ් ජයසිංහ මහතාගේ දේහය මේ වන විට වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (මැයි 02) පස්වරු 4.00 ට වෙන්නප්පුව කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.














