එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් (Aitken Spence Travels) ආයතනය සිය ‘Pure Path’ සහ ‘Nurturing Lilies’ තිරසර සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ගම්පොළ ගංගාසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ ගංවතුරෙන් හානියට පත් පුස්තකාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පවරා දීමට කටයුතු කර ඇත. මේ හරහා එම පාසලේ සිසුන් 1,400කට අධික පිරිසකට නැවතත් සිය ඉගෙනුම් කටයුතු සාර්ථකව කරගෙන යාමට අවස්ථාව හිමිව තිබේ.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ගංවතුරෙන් විනාශ වූ ගොඩනැගිලි ව්‍යුහයන් අලුත්වැඩියා කිරීම, විදුලි රැහැන් පද්ධතිය අලුත් කිරීම, විදුලි පහන් සහ විදුලි පංකා සවි කිරීම, ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය තීන්ත ආලේප කිරීම සහ නව පොත් මෙන්ම අධ්‍යාපනික ද්‍රව්‍යවලින් පුස්තකාලය නැවත සමන්විත කිරීම සිදු කර ඇත. විශේෂත්වයක් ලෙස, එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් ආයතනයේ සේවකයින්ද සිය පෞද්ගලික එකතුවලින් පොත්පත් පරිත්‍යාග කරමින් මෙම සද්කාර්යයට දායක වී තිබේ.
එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ නලින් ජයසුන්දර මහතා, ආයතනයේ තිරසර කණ්ඩායමේ සාමාජිකයින්, විදුහල්පති, ගුරුවරුන්, සිසුන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම අංගසම්පූර්ණ පුස්තකාලය නිල වශයෙන් පාසල වෙත භාර දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ගංගාසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. වසන්ත කුමාර මහතා ප්‍රකාශ කළේ, මෙය හුදෙක් භෞතික ඉඩක් ගොඩනැගීමක් පමණක් නොව, දරුවන්ගේ බලාපොරොත්තු සහ ඉගෙනීමට ඇති ආශාව නැවත ගොඩනැගීමක් බවයි. එසේම, පෞද්ගලික අංශයට ප්‍රජාව නඟාසිටුවීම සඳහා අර්ථවත් කාර්යභාරයක් ඉටු කළ හැකි ආකාරය පිළිබඳව මෙය කදිම නිදසුනක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













