අකුරැස්ස, පෝරඹ පටුමග ප්‍රදේශයේ නිවසක පසුගිය 14 වැනිදා පැවති අවුරුදු සාදයකට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසකගෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් අකුරැස්ස පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මංකොල්ල කෑ බවට චෝදනා එල්ල වේ. සිවිල් ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ නිලධාරීන් සිව්දෙනෙකු විසින් රාත්‍රී 7.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී ඇති වූ බිය නිසා පලායාමට උත්සාහ කළ පුද්ගලයන්ට පොලිසිය විසින් පහර දී ඇති බව ද වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් පිරිස පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තමන් සන්තකයේ තිබූ මුදල් පොලිස් නිලධාරීන් භාරයට ගත් නමුත්, පසුව ඇප ලබා පිටතට පැමිණීමේදී ඉන් ලැබී ඇත්තේ ඉතා සුළු මුදලක් පමණක් බවයි. එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව කිසිවෙකුටත් අනාවරණය නොකරන ලෙසට පොලිස් නිලධාරීන් තමන්ට තර්ජනය කර බිය ගැන්වූ බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.














