27 April 2024
#දේශීය

මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා – අධ්‍යාපන ඇමති සුසිල්

2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පැවැති අවස්ථාවේදිය.

ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළ ව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16කට අධික පිරිවැයක් රජය දැරූ බවත් එය පෙර මෙන් සිව් ගුණයට අධික මුදලක් බවත් පැවසී ය.

මෙවර ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22ක් මගින් මුද්‍රණය කරනු ලබන බවත් පැවසූ අමාත්‍යවරයා මූලික අත්තිකාරම් මුදලක් පමණක් ලබා පෙළපොත් මුද්‍රණයට ඉදිරිපත් වූ මෙරට පෞද්ගලික මුද්‍රණාලවලට මෙහි දී සිය කෘතවේදීත්වය පළ කළේ ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සහ අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා මෙන් ම අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ඉසඩ්. තාජුදීන් මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *