27 April 2024
#ව්‍යාපාර

අලියාන්ස් ලංකා සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති.

මේ අතරින් ඇතැම් සිසුන්ට පාසල වෙත ළඟාවීම සඳහා දිනපතා කිලෝමීටර් 5 කට අධික දුරක් පා ගමනින් පැමිණීමට සිදු වේ. දෙමාපියන්ට පවතින බරපතළ ආර්ථික දුෂ්කරතා නිසා, පාසලේ ජල ගැටලුව විසඳීමට මැදිහත් වීමට ඔවුන්ටද හැකියාවක් නොතිබිණි.

මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කලාපයට කිලෝමීටර 46 ක් පමණ දුරින්, මහනුවර සහ සබරගමුව පළාත් වලට මායිම්ව පිහිටි මෙම පාසලේ සිසුන් 55 දෙනෙක් ඉගෙනුම ලබති. මෙම පානීය ජල ව්‍යාපෘතිය යටතේ පාසල් භූමියේ අඩි 15 ක ගැඹුරකින් යුත් ළිඳක්, කුලුනු මත රඳවන ලද ජල ටැංකියක් සහ පොම්පයක් සහිත පූර්ණ ජලනල පද්ධතියක් ස්ථාපිත කරන ලදි.

“තිරසාරත්වය යනු අපගේ දැඩි අවධානයක් යොමුවන අංශයක්. එක්සත් ජාතීන්ගේ 6 වන සංවර්ධන ඉලක්කයට සමාගාමීව, රටේ දුෂ්කර පළාත් වල පිරිසිදු පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අප මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා.

මෙම ජල පද්ධතිය ඉදිකරන අවස්ථාවේදී, පාසලේ විදුලි රැහැන් පද්ධතිය අබලන් වී ඇති බවත්, තාප්ප දුර්වර්ණ වී ඇති බවත් අපට පෙනී ගියා. එම නිසා විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමටත්, තාප්ප වල තීන්ත ආලේප කිරීමටත් අප පියවර ගත්තා.

මෙම උත්සාහය මෙම සිසුන්ගේ ජීවිත නගාසිටුවීමට මහෝපකාරී වනු ඇතැයි අප සිතනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

පානීය ජල පද්ධතිය සහ අලුත්වැඩියා කරන ලද අනෙකුත් පහසුකම් පාසල වෙත භාරදීම 2022 වසරේ දෙසැම්බර් 15 දින සිදුකරන ලද අතර, එම අවස්ථාවට අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මංගල බණ්ඩාර මහතා ප්‍රමුඛව සමාගමේ ප්‍රාදේශීය විකුණුම් හා කළමනාකරණ කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *