මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ වන සතුන් මුහුණ දී සිටින ජල හිඟයට විසඳුම් ලබාදීම සඳහා වනජීවී නිලධාරීන් සහ රාජ්‍ය අංශය ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
අම්පාර දිස්ත්‍රික් ලේකම් අනූපම මංගල වික්‍රමාරච්චි මහතාගේ අනුග්‍රහයෙන්, බුද්ධංගල සහ ගල්ඔය නිම්න ඊසාන දිග (අම්පාර) අභය භූමියේ මෙන්ම ලාහුගල ජාතික උද්‍යානය ඇතුළු වන උද්‍යානවල සිඳී ගොස් ඇති ස්වභාවික දිය කඩිති සහ ජල පොකුණු වෙත බවුසර් මඟින් ජලය රැගෙන ගොස් පිරවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී. නියඟයත් සමඟ ඇති වී තිබෙන මෙම දුෂ්කර තත්ත්වය හමුවේ වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අදාළ අංශ විසින් පුළුල් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
















