2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සඳහා රජය විසින් හඳුන්වා දෙන ලද නව සංශෝධන මාලාවක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව සංශෝධන මගින් දූෂණ ක්‍රියා හරහා උපයා ගන්නා දේපළ සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීම සහ ඇප ලබාදීමේ කොන්දේසි දැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.
නව සංශෝධනයට අනුව, යම් පුද්ගලයෙකු දූෂණ ක්‍රියාවක් මගින් දේපළක් අත්පත් කරගෙන හෝ පරිවර්තනය කර ඇති බවට අධිකරණය හමුවේ වරදකරු වුවහොත්, එම දේපළේ වටිනාකම මෙන් තුන් ගුණයකට නොඅඩු අතිරේක දඩයක් පැනවීම අධිකරණයට අනිවාර්ය වේ. මීට පෙර පැවති පනත යටතේ දූෂණ වරදකට උපරිම දඬුවම වූයේ වසර 10 නොඉක්මවන බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් මිලියනයක දඩයක් වන අතර, දූෂණ ක්‍රියාවක් හේතුවෙන් රජයට මූල්‍යමය අලාභයක් සිදුව ඇත්නම් එම සම්පූර්ණ අලාභයට සමාන මුදලක් අතිරේක දඩයක් ලෙස අය කර ගැනීමටද නව සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.
බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමේ ක්‍රියාවලියද මෙමගින් දැඩි කර ඇති අතර, රුපියල් ලක්ෂයකට නොඅඩු අල්ලසක් ලබා ගැනීම, දීම හෝ ඉල්ලා සිටීම සහ රුපියල් ලක්ෂ පහකට නොඅඩු රජයේ පාඩුවක් සිදු කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන්ට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණක් වන අතර මහේස්ත්‍රාත් අධිකරණයට තිබූ එම බලය සීමා කර ඇත.
වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමේදී පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දී ඇති අතර, ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශනයක් බලයලත් නිලධාරියෙකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් ඕනෑම කාර්යයක් සඳහා භාවිත කිරීම වරදක් ලෙස නම් කරමින් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි බව දක්වා තිබේ. මීට පෙර පැවති පනත අනුව වත්කම් ප්‍රකාශකයා සමඟ මාස හයකට වඩා වැඩි කාලයක් එකට වාසය කරන පුද්ගලයන්ගේ වත්කම්ද හෙළි කළ යුතු වුවත්, පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් එම අවශ්‍යතාව ඉවත් කර ඇති අතර, ජාතික හැඳුනුම්පත් අංකය සහ විදේශ ගමන් බලපත්‍ර අංකය වැනි හඳුනාගැනීමේ අංකවලට අමතරව වෙනත් ඕනෑම අංකයක්ද ඉවත් කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂාව පුළුල් කර ඇත.
මීට අමතරව, රජයට 25%ක කොටස් හිමිකමක් ඇති සමාගම් මීට පෙර මෙම පනතට යටත් වුවද, නව සංශෝධනය මගින් එම සීමාව 50% දක්වා ඉහළ නංවා ඇති බැවින්, රජයට 50%ට අඩු කොටස් හිමිකමක් ඇති සමාගම්වල අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන් මින් ඉදිරියට “රාජ්‍ය නිලධාරීන්” ලෙස මෙම පනත යටතේ සැලකෙන්නේ නැත.














