නිල වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක නොවූ 2025 මාර්තු 07 වැනිදා සිට මේ දක්වා කාලය තුළ, ලියාපදිංචි අංකය කඩදාසිවල මුද්‍රණය කරන ලද තාවකාලික අංක තහඩු භාවිත කළ වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් විසින් පොලීසියට උපදෙස් දී තිබේ. ‘දිනමිණ’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන ලද වාහන ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කිරීමට රියැදුරන්ට අවසර ඇති බවයි.
කෙසේ වෙතත්, වෙනස් කරන ලද හෝ නිල නොවන අංක තහඩු භාවිතයෙන් වාහන ධාවනය කිරීම නීත්‍යනුකූල නොවන අතර, 2025 වසරට පෙර නිකුත් කරන ලද අංක තහඩු වෙනස් කිරීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ අතර, අලුතින් පිරිනමන ලද වසර පහක කොන්ත්‍රාත්තුවක් යටතේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම ලබන ජූනි 10 වැනිදා හෝ ඊට පෙර නැවත ආරම්භ කර, ලබන මස සිට නිල අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත. දැනටමත් රියැදුරන් මුදල් ගෙවා තිබියදීත් බෙදා හැරීමට නොහැකිව ගොඩගැසී පවතින අංක තහඩු 400,000කට ආසන්න ප්‍රමාණය ලබන ජූනි මස 30 වැනිදාට පෙර භාරගන්නා ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.
















