වසර පහක අතිශය දුෂ්කර අධ්‍යයන කාලසීමාවකින් පසු, මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ අනාගතය භාර ගැනීමට සූදානම්ව සිටි තරුණ උපාධිධාරීන් පිරිසකගේ සිහිනය සැබෑ කරමින් තීරණාත්මක පියවරක් ඊයේ (28) කොළඹදී තැබිණි. කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම සුවිශේෂී උත්සවය හුදෙක් සහතික පත්‍ර ප්‍රදානයක් පමණක් නොව, එය රටේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන හිඟතාවලට ලබා දෙන ප්‍රබල පිළිතුරකි. රෝගීන් දහස් ගණනකගේ ජීවිත සුවපත් කිරීමේ භාරදූර වගකීම උරමත තබා ගනිමින්, සිය වෘත්තීය ජීවිතයේ තීරණාත්මකම සන්ධිස්ථානයකට පිවිසීමට මෙම නවක වෛද්‍යවරුන් සූදානම්ව සිටින්නේ මහත් බලාපොරොත්තු මධ්‍යයේය.
කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවලින් වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරූ 2017/2018 අධ්‍යයන වර්ෂවලට අදාළ මෙම උපාධිධාරීන් 402 දෙනා සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි මෙහිදී නිල වශයෙන් ප්‍රදානය කෙරිණි. මෙම කණ්ඩායම ආයුර්වේද අංශයෙන් 249 දෙනෙකුගෙන් ද, සිද්ධ අංශයෙන් 109 දෙනෙකුගෙන් සහ යුනානි අංශයෙන් 44 දෙනෙකුගෙන් ද සමන්විත වීම විශේෂත්වයකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ශික්ෂණ රෝහල් සහ ආයුර්වේද පර්යේෂණායතන ඇතුළු රෝහල් ජාලය පුරා විසිරී යමින් වසරක කාලයක් පුරා ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට ඔවුන් දැන් සූදානම්ව සිටිති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව මෙරට දේශීය වෛද්‍ය විද්‍යාවේ පුනරුදයක ඇරඹුම ලෙස සැලකිය හැකිය. නූතන ලෝකය හමුවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති වටිනාකම ඔප්පු කිරීමට නම් මෙවැනි උගත්, තරුණ වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන අතර මෙම 402කගේ බලඇණිය හෙට දවසේ නිරෝගී ලාංකේය ජාතියක් ගොඩනැගීමේ පෙරගමන්කරුවන් වනු නොඅනුමානය. පාරම්පරික දැනුම සහ නවීන විද්‍යාව එකට මුසු කරමින් ඔවුන් ඉටු කරන මෙම සේවය, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ අතිමහත් ජයග්‍රහණයකි.














