ලෝකවාසී ජනතාවට සාමයේ සහ මනුෂ්‍යත්වයේ පණිවිඩය බෙදා හරිමින් දින හතක් පුරා ශ්‍රී ලංකා ධරණී තලයේ ඇදී ගිය ඓතිහාසික “එහිපස්සිකෝ” සාම පාගමන ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී අතිශය හැඟුම්බර සහ තීරණාත්මක නිමාවකට එළඹුණි. බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යන මෙම මහා මෙහෙයුම අවසානයේ, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ දේශ සීමා ඉක්මවා ගිය ආගමික සහ සංස්කෘතික සහසම්බන්ධතාවයක නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි. රට පුරා දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ මෙම චාරිකාව සාර්ථක කර ගැනීමට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය සහ ජනතා සහයෝගය හමුවේ මුළු මහත් ජාතියටම ලෝකයේ ගෞරවය හිමිව තිබේ.
මෙම හමුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීමටත්, ඇමරිකාවේදී සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීම පිළිබඳවත් උන්වහන්සේ සිය කෘතඥතාව පළ කළහ. විශේෂයෙන්ම පාගමන අතරතුර “ආලෝක” ඇතුළු සතුන්ට ජනතාව පෙන්වූ අපරිමිත කරුණාව සහ ආරක්ෂක අංශ, වෛද්‍ය කණ්ඩායම් හා මාධ්‍ය ආයතන දැක්වූ කැපවීම ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී ඉහළින්ම අගය කරන ලදී. ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන “ජීවමාන ධර්ම පාලමක්” ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම පිළිබඳව දෙපාර්ශවය අතර මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
ශ්‍රී ලංකාව යනු සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින බව ජාත්‍යන්තරයට ඔප්පු කර පෙන්වීමට මෙම අවස්ථාව මනා පිටුවහලක් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. සාම පාගමන හරහා ඇති වූ ඒ ආධ්‍යාත්මික ප්‍රබෝධය හුදෙක් සතියකට සීමා නොකර, එය රටක් ලෙස ඉදිරියට ගෙන යාම තම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ලෝක සාමය වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ සිදුකරන අපිරිමිත සේවයට මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් උපහාර පුද කරමින් මෙම හමුව නිමාවට පත්වූයේ සාමකාමී හෙට දවසක් පිළිබඳ සැබෑ බලාපොරොත්තුවක් අප හදවත් තුළ ඉතිරි කරමිනි.














