බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී.
මෙවර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජූලි මස 25 වැනිදා සිට අගෝස්තු මස 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. දළදා පෙරහැරට පසු මෙරට පැවැත්වෙන ප්‍රධානතම පෙරහැර මංගල්‍යයක් වන මෙය රජයේ සහාය ඇතිව පැවැත්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව මහාභාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක මූල්‍ය දායකත්වය ලබා ගැනීමට තීරණය කෙරිණි.
මෙම අවස්ථාවට බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, විහාරාධිකාරි පූජ්‍ය බෙල්ලන්විල සංඝරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ අනුග්‍රාහක රාජ්‍ය ආයතනවල නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.














