මන්නාරම දිස්ත්‍රික්කයේ සිදුවන නීතිවිරෝධී වැලි කැණීම් වැළැක්වීම සහ දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණු මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (29) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නීතිවිරෝධී වැලි කැණීම් සහ ප්‍රවාහනය වැළැක්වීම සඳහා සති දෙකක කාලයක් ප්‍රදේශයේ වැලි කැණීම් සහ ප්‍රවාහන කටයුතු නතර කිරීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ අවධානයට යොමු කිරීමට තීරණය විය. සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී 2026 වසරේ ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ව්‍යාපෘති 236ක් සඳහා රුපියල් මිලියන 489ක් වෙන් කර ඇත. මාර්ග සංවර්ධනය සඳහා ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 250ක් ද මහාමාර්ග, පාලම් සහ අනෙකුත් මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2050ක් ද වෙන් කර තිබේ. පානීය ජල ගැටලුව විසඳීම සඳහා පවුල් 4900කට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් රුපියල් මිලියන 847ක් වෙන් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.














