මෙක්සිකෝ නගරය ආසන්නයේ පිහිටි සුප්‍රසිද්ධ තියොතිහුකාන් (Teotihuacan) පිරමිඩ පරිශ්‍රයේ ඊයේ (අප්‍රේල් 20) සිදුවූ වෙඩි තැබීමකින් කැනේඩියානු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පසුව තමාටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු තහවුරු කරති.
සන්නද්ධ පුද්ගලයෙකු එක් පිරමිඩයක් මුදුනේ සිට වෙඩි තබනු දක්නට ලැබුණු බව ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන් අතර කොලොම්බියානු ජාතිකයින් දෙදෙනෙකු, තවත් කැනේඩියානු ජාතිකයෙකු සහ රුසියානු ජාතිකයෙකු වන බව මෙක්සිකෝ ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) මෙම සිදුවීම පිළිබඳ සිය දැඩි කණගාටුව පළ කර ඇති අතර කැනේඩියානු තානාපති කාර්යාලය සමඟ මේ පිළිබඳව සම්බන්ධීකරණයෙන් පසුවන බව ප්‍රකාශ කර තිබේ. මෙක්සිකෝව, ඇමරිකාව සහ කැනඩාව සමඟ එක්ව 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට සූදානම් වෙමින් පවතින පසුබිමක මෙවැනි ආරක්ෂක ගැටලු පිළිබඳව ලෝක අවධානය යොමුව ඇත.
















