යුක්රේනයේ කියෙව් (Kyiv) අගනුවර පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 18) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් පුද්ගලයෙකු මියයෑමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව එරට නීතිපති රුස්ලාන් ක්‍රව්චෙන්කෝ මහතා අද (අප්‍රේල් 20) තහවුරු කළේය.
රුසියාවේ උපත ලද පුද්ගලයෙකු ස්වයංක්‍රීය රයිෆලයකින් මඟීන්ට වෙඩි තබා පසුව සුපිරි වෙළඳසැලක පුද්ගලයින් ප්‍රාණ ඇපයට ගෙන සිටියදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබිණි. කෙසේ වෙතත්, සිද්ධිය වූ අවස්ථාවේ වෙඩික්කරු පාලනය කිරීමට හෝ තුවාල ලැබූවන්ට සහාය වීමට කටයුතු නොකර එම ස්ථානයෙන් පලාගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන තිබේ.
අදාළ පොලිස් නිලධාරීන් සතුව ගිනිඅවි තිබියදීත් ඔවුන් ක්‍රියාත්මක නොවී පලායෑම හේතුවෙන් සැකකරුට බාධාවකින් තොරව වීදි දිගේ ගමන් කරමින් නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමට අවස්ථාව ලැබී ඇති බව නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














