ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එම අරමුදල විසින් සිදු කරන ලද පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව සඳහන් කළේය.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීම පිණිස, අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ක්ෂණික ප්‍රවේශයක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. ඊයේ (27) අවසන් වූ මෙම ඒකාබද්ධ සමාලෝචනයට අනුව, ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලි පිරිවැය ආවරණය වන පරිදි විදුලි මිලකරණය ස්ථාපනය කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා ශ්‍රී ලංකාව විසින් සාර්ථකව සපුරා ඇත. කෙසේ වෙතත්, නව විදේශීය ගෙවීම් හිඟයන් ඇතිවීම වැළැක්වීම සහ ආනයන සීමා අලුතින් පැනවීම හෝ තීව්‍ර නොකිරීම සම්බන්ධයෙන් වූ අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක තවමත් සම්පූර්ණයෙන් සපුරා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කරයි.














