මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වංචනික ලෙස හුවමාරු කිරීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය වන්නේ ගිණුම් හිමියන් ලබාදෙන ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවත්, එම උපදෙස් වෙනස් කිරීමට හෝ ඒවායේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට මහ බැංකුවට සෘජු වගකීමක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය. ගිණුම් අංක සහ ගෙවීම් ක්‍රමවේද නිසි ලෙස තහවුරු වූ පසු ගනුදෙනුව සිදු කිරීම බැංකුවේ කාර්යය බවත්, ඉන් ඔබ්බට ගොස් පාරිභෝගිකයා ලබාදෙන උපදෙස් වෙනස් කිරීමට බැංකුවකට අයිතියක් නොමැති බවත් ඔහු උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.
මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගැනීම සඳහා ආයතන දෙකම එක්ව දැනට පවතින ක්‍රියා පටිපාටි යළි සමාලෝචනය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. සිද්ධියට අදාළ වංචනික ගනුදෙනුවේ තොරතුරු ඇතුළත් ප්‍රකාශ ඕස්ට්‍රේලියාවේ අදාළ ආයතනය වෙත ලැබී තිබිය යුතු බව ද අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
















