පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන පැරණි ‘ස්මාරක වාර්තා කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි වසර දෙසීයකට වඩා පැරණි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ස්මාරක වාර්තා කිරීමේ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ආරම්භ කර තිබේ. මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ස්මාරක සහිත මෙම සුසාන භූමියේ ඇති වැදගත් ස්මාරක හඳුනාගෙන ඒවායේ බිම් සැලසුම්, ඉදිරිපස සැලසුම්, පැති සැලසුම් සහ හරස්කඩ සැලසුම් පිටපත් කිරීම මෙහිදී සිදු කෙරේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ කාලයාගේ ඇවෑමෙන් විනාශ වී යන මෙම ඓතිහාසික සොහොන් ස්මාරක අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීමයි.
ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවිය යටතේ පාලනය වන මෙම සුසාන භූමිය ‘ශාන්ත ස්ටෙපාන්’ යනුවෙන් නම් කර ඇති අතර, එය 1842 පෙබරවාරි මස 26 වැනි දින ශාන්ත ස්ටෙපාන් සුසාන භූමිය ලෙස කැප කර තිබේ. පෙර කල නැඟෙනහිර කතෝලික රදගුරු පදවිය යටතේ පාලනය වූ මෙම භූමිය මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරන සුවිශේෂී ස්ථානයක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ගැබ් සහිත මෙම භූමිය වාර්තාගත කිරීම හරහා ත්‍රිකුණාමලයේ පැරණි නාගරික ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් රැක ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.














