චීනයේ මෝජෑන් නුවර පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උලෙළ සහ තරගාවලියට (World Largest Twins Festival – 2026) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිවුන් කණ්ඩායම ජාත්‍යන්තරය ඉදිරියේ විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව පැවති මෙම උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය මුළු උළෙලේම හොඳම නර්තනාංගයට හිමි සම්මානය දිනා ගන්නා ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් පසුගිය 8 වැනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ හරහා යළි දිවයිනට පැමිණියහ.
ලෝකයේ රටවල් 47 කින් පැමිණි තරුණ නිවුන් කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උළෙලේදී අපේ රටේ කලාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද්දේ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් ‘අංගම්පාලිය’ ඇසුරෙන් නිර්මාණය වූ සුවිශේෂී නර්තනාංගයකි. මෙම ප්‍රසංගය සඳහා චීන ප්‍රේක්ෂකයන්ගෙන් මෙන්ම විදෙස් නියෝජිතයන්ගෙන් ද අතිවිශාල ප්‍රතිචාරයක් හිමි වූ අතර ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව ලෝකය ඉදිරියේ මනාව විදහා දැක්වීමට මෙය හොඳ අවස්ථාවක් විය.
ජාත්‍යන්තර වේදිකාවක් මත ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තැබූ මෙම දක්ෂ නිවුන් කණ්ඩායමට කටුනායක ගුවන් තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් හිමි විය. ලෝකයේ රටවල් රැසක් අභිබවා හොඳම නර්තනාංගයට හිමි ගෞරවය දිනා ගැනීම හරහා මෙරට දක්ෂතා ජාත්‍යන්තර මට්ටමින් යළිත් වරක් තහවුරු වී තිබේ.














