27 April 2024
#දේශීය

දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබයි – ආරක්‍ෂක ලේකම්

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊ‌යේ  (26)දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන්ලෝස්, ද සොයිසා අභියෝගතා කුසලාන 105 වන කඳවුර – 2022 හි විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

පාසල් අවධියේදී ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සඳහා යොමු වු දුවාදරුවන් වැඩිහිටියන් ලෙස සමාජගතවීමේදී ඔවුන් තුළ නායකත්ව ගුණාංග, විනයගරුක බව, තම රාජකාරීන් නොපසුබටව ඉටුකිරීම, අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව සහ ආත්ම විශ්වාසය සහිතව ජිවත්වීමේ හැකියාවක් අත්පත් කරගන්නා බවට සමාජයේ විශාල මතයක් පවතින අතර, මෙම ශිෂ්‍යභට බලකා දුවා දරුවන් තුළින් එය සත්‍යක්ම බව මනාවට පිළිඹිබු වන බව ආරක්‍ෂක ලේකම්රයා පැවසීය.

ජාතික ශිෂ්‍යභටයින් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ජෙනරල් ගුණරත්න කියා සිටියේ අනාගතයේ රැකියා ලෝකය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවත් ඒ අනුව කෘතිම බුද්ධිය, බුද්ධිමය ස්වයංක්‍රිය කරණය, රොබෝ තාක්‍ෂණය ආදී ඩිජිටල් තාක්‍ෂණික ක්‍රමවේද අනාගතයේ රැකියා සඳහා වැඩි වශයෙන් භාවිතා වන බැවින් එම ලෝකයට මුහුණදීම සඳහා අප දූ දරුවන් වර්තමානයේ සිටම සුදානම් විය යුතු බවත්වය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, ජාතික බුද්ධි ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, රාජ්‍ය නිලධාරීන්, ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ පුහුණු කාර්ය මණ්ඩලය, සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයින් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *